සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

6/14/2008

නුඔ හා මම

පෙරදිග නිල'ඹර
දිලෙමින් නැගෙන
රන්වන් තරුව නුඹ
අවරදිග සිතිජ ඉම
ගිනිගෙන දැවෙන
මළ හිරු මම

හෙමින් හෙමින් අතු අග
මෝදු ව වැනෙන කැකුලු මල නුඹ
එකින් එක පෙත්ත
නටුවෙන් ගිලිහෙන
මුකුලිත මල මම

සීතල දුරුතු මස
මුතු කැට සේ වැටෙන
පිණි වැස්ස නුඹ
බක් මහේ අකුණු මැද මේඝ ඝර්ජනා ගෙනෙන
මහ වැස්ස මම

කැකුලු පොඩි පියවරින්
පා පැකිලෙමින් දුවන
පුංචි මිණිපිරිය නුඹ
දිගු ජීවන වන්දනාවේ
වෙහෙසකර ඉම වෙසෙන
නුඹේ අත්තම්මා මම

4 comments:

සු said...

හරිම අගෙයි..ජීවිතයේ අනවරත වෙනස්වීම ස්වභාව ධර්මයේ වෙනස්වන සුළු ධර්මතාව සමග ගැලපූ ආකාරය හරිම සියුම්...මෙය කියවද්දී එකපාරට හිතුණා "හෙමි හෙමින්" හා "එකිනෙක" ලෙස එම පද යෙදුණා නම් හොඳය කියා... නමුත් රිද්මය වුවත් එක එක්කෙනාට දැනෙන්නේ එක් එක් විදිහටනේ...තව දෙයක්.."බක් මහේ අකුණු මැද මේඝ ඝර්ජනා ගෙනෙන"..කියන යෙදුම නම් වියපත් ස්වභාවයක් නිරූපණය කරන්න කොයි තරම් ගැළපෙනවද කියලා හිතුණා..ඇතැම් විට ඔබ ඉන් අදහස් කළේ මහ වැස්ස යන්නෙන් බොහෝ පරිණත හෝ වැඩිමහලු කියන එක වෙන්නට ඇති. නමුත් වියපත්, දුබල, වියැකී යන ස්වභාවය පෙන්වන වෙනත් යමක් ගැන හිතුවා නම් හොඳයි වගේ.. මහා මේඝ ගර්ජනාවක චණ්ඩ බව එබඳු ගති හා නොගැලපෙන බවයි මට සිතුණේ..ඔබ ඉන් අදහස් කළේ වෙනත් දෙයක් නම් ඒ බව කියා දෙන්න කාරුණික වන්න.

‍කොහොම වුණත් මේ නිර්මාණය හරිම අගෙයි. මුල කියවද්දී හිතෙන්නේ දුරස් වූ දෙදෙනෙකුගේ විස්සෝපයක් වගේ..අගට යද්දී සමුපූර්ණයෙන් වෙනත් හැඟීමක්....

මෙවැනි සියුම් වින්දනයක් ‍ලබා දිය හැක්කේ ජීවිතයේ ස්වභාවය ගැන ගැඹුරින් සිතන, හොඳින් තේරුම් ගන්නා අයට පමණයි.

ජය !

-

Anonymous said...

හරිම අගෙයි. සු කියන්නා වගේ 'බක් මහේ අකුණු මැද මේඝ ඝර්ජනා ගෙනෙන' කියන එක තරමක් ගැලපෙන්නෙ නෑ වගේ.

හරිම කදිම නිසඳැසක්. භාව රදය උද්දීපනය කරන අතර ජීවිතයේ ස්වභාවය ඉස්මතු වන සේ අර්ථ නිරූපණය කර ඇත.

නව වියුණු අඩවියට මගෙන් සුබ පැතුම්. ඇත්තටම කැටපත් පවුරෙන් කැ‍ටපත් පවුරට සුඉ පැතුම්.

අනිලි said...

'සීතල දුරුතු මස මුතු කැට සේ වැටෙන පිණි වැස්ස '

'බක් මහේ අකුණු මැද මේඝ ගර්ජනා ගෙනෙන මහ වැස්ස'

‍මෙම පද දෙකෙන් මම අදහස් කළේ ආතම්මා හා දියණිය අතර ඇති පරස්පරතාවය ඉස්මතු කිරිමට
එය වියපත් බව පමණක්ම නොව වාග් විලාශය,හැසිරීම ආදී සියල්ලම

මගේ අලුත් blog එක බලලා මට comment එවලා තවත් නිර්මාණ පල කිරීමට මාව දිරිමත් කලාට ඔයාලට ස්තූතියි.

සු said...

අනිලි,
ඔබේ පැහැදිලි කිරීමට ස්තූතියි.ඔයා වැස්සට වැස්සක් ගලපන්න යාම නිසයි මේ අවුල අපට ඇතිවුණේ. ‍දියණියට යෙදූ උපමාව නම් අපූරුයි. ඒත් අත්තම්මා කෙනෙකු මේඝ ගර්ජනාවක් සේ දැකීම ටිකක් හරි මදි කියලයි අප කියන්නේ.‍මොකද ඒ යෙදුමෙන් මැවෙන්නේ හැඩි දැඩි රළු ‍බවක්..අත්තම්මා කෙනෙකු‍ගේ වියපත් ව යන ජීවිතයේ එබඳු ගොරහැඩි ප්‍රචණ්ඩ ගති දකින්න බැහැනේ. ඒකයි. කොහොම වුණත් ඔයත් මේ ප්‍රතිචාරවලට සංවේදී වීම සතුටක්

දිගටම ලියන්න. අපි හැමදාම කියවනවා.

:-)