සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

6/29/2008

කැටපත් පවුරෙන් සිව් මංසල ට

‘කැටපත් පවුර’ වල් දෙකක් තිබීම නිසා සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ඇති වී තිබුණ සංවාදය මම දැක්කේ බොහෝම ප්‍රමාද වෙලා. ඒකට ‍හේතු ‍වුනේ යුනිකොඩ් බා ගත්ත මුල් දිනවල සිංහල භාෂාවෙන් එවපු විද්‍යුත් තැපෑල් කියවීමේ හැකියාවක් තිබුනේ නැහැ. යුනිකෝඩ් වල ප්‍රශ්නයක් ද දන්නේ නැහැ. නමුත් ඒක ඉබේම හරි ගියා. ඊට පස්සේ තමයි සංසදයෙන් ඇති වී ඇති සංවාදය දැක්කේ.

කැටපත් පවුර කියලා දැම්මේ සීගිරියේ තියෙන කැටපත් පවුර තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අතීතයේ සීගිරිය නරඹන්න ගිය අය යොදා ගත්තා වගේ මගේ අදහස් ප්‍රකාශ කිරීමට ඒ නමින් බ්ලොග් එකක් පවත්වා ගෙන ගියොත් හොඳයි කියලා මටත් හිතුන නිසා. ඒ උණත් සිංහල බ්ලොග්කරුවන් ගේ සංසදයේ සිංහල බ්ලොග්කරුවන්ගේ බ්ලොග් නාම‍ ලේඛනයේ කැටපත් පවුරවල් දෙකක් තියෙන කොට මටත් හිතුනා මගේ බ්ලොග් එකේ නම වෙනස් කරන්න ඕනි කියලා.එකම නමින් දෙන්නෙක් එකම ගෙදර හිටියොත් දෙන්නාගෙන් කාටවත් තමන්ගේ නමේ අනන්‍යතාවය නැති වෙනවානේ.

එත් නමක් හිතන එක ඒ තරම් ලේසි නැහැ. ඒ නිසා නම වෙනස් කිරීම දවසින් දවස කල් ගියා. පොත් දෙක තුනක්ම පෙරලුවා. කිහිපදෙනෙකු ගෙන් ම අදහස් විමසුවා. කොයි වගේ නමක් හොඳයි ද? කියලා . ඉස්සෙල්ලාම නම දාන කොට නම් මෙච්චර අමාරු වුනේ නැහැ. හිතුවා දැම්මා. ඒක ක්‍ෂනික අදහසක්. ක්‍ෂනික අදහස් හොද නැහැ කියන්නේ නිකම් නොමෙයි නේ. ඒකනේ මට මගේ බ්ලොග් එකේ නම වෙනස් කරන්න උනේ.

අන්තිමේදී මම හිතුවා කැටපත් පවුර වෙනුවට ‘සිව් මංසල’ කියන නම දාන්න ඕනි කියලා. නම් දෙකේ තේරුම් දෙක නම් හාත්පසින්ම වෙනස්. ඒ උණත් සිව් මංසලක දී හතර අතකින් ආපු අය එකට මුණ ගැහැනේවා වාගේ මගේ බ්ලොග් එකත් ලංකාවේ සතර දිග්බාගේ අය බලනාවානේ. ඒ නිසා ඒ නම හොඳයි කියලා මට හිතුනා. ඔන්න ම‍ගේ ‘කැටපත් පවුර’ අද ඉදන් ‘සිව් මංසල’

දැන් ඉතින් ප්‍රශ්නේ ඉවරයි. තාවකාලික ද දන්නේ නැහැ. තවත් ‘සිව් මංසලක්’ තියෙයි ද?

එහෙනම් සතර දිග්බාගේ ඇත්තන්ට මගේ සිව් මංසලේ දි මුණ ගැහෙන්න කියලා මම ආරාධනා කරනවා.

6/26/2008

මලේ නුඹ


සුල‍‍ඟේ ලෙලෙනා කැකුලු මලේ
නුඹේ ඔපයට මගේ සිත ද සැලේ
පෙති විදහා නුඹ ඉන්න අගේ
දුටු විට නුඹ ගැන ලෝබ සිතේ

මී මැස්සෝ රංචු ඇවිත්
ගුමු ගුමු රහස් කතා කරාවි
රූං රූං පෙම් වදනින්
බඹරුන් නුඹ වට කැරකේවි

හිරු එළියෙන් නුඹ ඔප වේවි
සඳ සිසිලෙන් නුඹ සැනසේවි
පිනි කැට වැටිලා නැහැවේවි
ඹප වැටිලා නුඹ බැබ‍ලේවි

අව් වැසි මාරුත කෙතරම් ආවත්
නොසැලී නොනැමී ඉන්න මලේ
බඹරුන් කොතරම් පසු පස ආවත්
නුඹ අප කාටත් හිමිය මලේ

6/20/2008

මේ බව ඔබ සිතුවාද?

පසුගිය කාලයේ ලෝකයේ සිදුවුනු දේවල් දිහා බලන කොට මට මතක් වෙන්නේ ලෝක විනාශය පිළිබඳ කියලා තිෙයන අනාවැකි. එක් අනාවැකිකරුවෙක් කියලා තියෙන්නේ ලෝක විනාශය ක්‍රි.ව. 2012 දී වෙනවා කියලා. බුදු හාමුදුරුවන් දේශනා කරලා තියෙන්නේ ලෝක විනාශය සිදුවන්නේ ලෝක‍ය ජලයෙන් යට වීමෙන් කියලා නේ.

මට හිතෙන විදිහට ලෝක විනාශයේ පෙර නිමිති පහලවන්නේ 2004 සුනාමි ව්‍යවසනයත් සමඟ කියලා.ඊට පස්සේ ලෝකයේ කෙතරම් විපත් උනාද?

චීනයේ සිචුවාන් ප්‍රදේශයේ වුණ මහා භූමි කම්පාවෙන් මිනිස් ජීවිත හැටදහසක් පමණ විනාශ වුණා කියලා කියනවා නේ. මේ දවස් වල එහෙට ගංවතුර. ඇයි ඇමරිකාවේ ප්‍රන්ත දෙකකම ගංවතුර.එයිනුත් විශාල වශයෙන් දේපල ජීවිත හානි සිදුවෙලා. අපේ රටේ පසුගිය කාලයේ කෙතරම් ජීව්ත හා දේපල හානි සිදුවුනාද ගංවතුරෙන්.
මේ විදිහට කවදාවත් අහපු දැකපු නැති විදිහට ස්වභාවික විපත් සිදුවන්නේ ලෝක විනාශයේ පෙර නිමිති ද කියලා මට හිතෙනවා. අනේ මන්දා අපේ අනාගතය...

6/17/2008

නුඹ


ඈත නිල’ඹර දිලෙන තරුව නුඹ
මෑත සිට නුඹට ලොබ බැදි මම
මගේ නෙතු මානයේ නුඹ රැදුනත්
අත නොගැටෙන බව දනිමි මම

නිශා අහස් ගැබ සිසාරමි
නුඹ කොතැනක දැයි සොයා යමි
නුඹ දැකුමෙන් මගේ සිත පොපියයි
එපමණක් ඇත මම සැනසෙයි

අඳුරු නිල’ඹර එකලු කරවන
පුරා හඳ ලෙස එලිය දෙයි නුඹ
අපේ නොවුණත් නුඹේ එලියෙන්
එකලු වේ අද ‍අපේ ලෝකය

6/14/2008

බ්ලොක් නිර්මාණකරුවන්ගේ සංසදය

මම බ්ලොක් නිර්මාණකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක් වෙන්න කැමතියි. ඒ සදහා මම google වලින් ‍log වෙලා සංසදයට එකතුවුනා. මගේ බ්ලොක් පිටුවේ නම සංගමයේ නාම ලේඛනයේ පල කරන්නේ කොහොමද?

‍‍මේ බව සිතට ගන්න

මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා
මනසා වෙ පදුට්ඨෙන - භාසතී වා කරොති වා
තතො නං දුක්ඛවන්චෙති - චක්කංව වහතෝ පදං

චෛතිසික ධර්‍මයෝ හෙවත් සිතේ ඇති ව න ගතිහු සිත පෙරටු කොට ඇත්තාහු ය. ඒ ගතිහූ සිත ම ශ්‍රේෂ්ඨ කොට පවතින්නෝය. සිතින් ම උපදින්නෝ ය. ඒ නිසා යමෙක් නරක කිලිටි සිතින් යමක් කියත් නම්, කරත් නම්, ගැල අදිනා ගොනාගේ පය අනුව රෝදය යන්නාක් මෙන් ඔහු පසු පස්සේ දුක ලුහුබඳී.

(ධම්ම පදය - යමක වග්ගය)

නුඔ හා මම

පෙරදිග නිල'ඹර
දිලෙමින් නැගෙන
රන්වන් තරුව නුඹ
අවරදිග සිතිජ ඉම
ගිනිගෙන දැවෙන
මළ හිරු මම

හෙමින් හෙමින් අතු අග
මෝදු ව වැනෙන කැකුලු මල නුඹ
එකින් එක පෙත්ත
නටුවෙන් ගිලිහෙන
මුකුලිත මල මම

සීතල දුරුතු මස
මුතු කැට සේ වැටෙන
පිණි වැස්ස නුඹ
බක් මහේ අකුණු මැද මේඝ ඝර්ජනා ගෙනෙන
මහ වැස්ස මම

කැකුලු පොඩි පියවරින්
පා පැකිලෙමින් දුවන
පුංචි මිණිපිරිය නුඹ
දිගු ජීවන වන්දනාවේ
වෙහෙසකර ඉම වෙසෙන
නුඹේ අත්තම්මා මම

UNI CODE

අන්තර්ජාලයේන් බා ගැනිමට
ගතවිය සෑහෙන වේලාවක්

නමුදු

සිත් සතුටුය
පල දරයි වැඩමුළුව
රිසි සේ භාවිතයට
හැකිය

විජේසේකර යතුරු පුවරුව

ඔබ සැමට තුති මල් මිටක්

6/13/2008

කැටපත් පවුර

‍සිතුවිලි වලට නව අරුතක්
අන්තර්ජාලයේ ඉඩක්
ලොව ඉම වෙසෙන
අපේම අයට අපේ කියා තැනක්