සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

5/24/2010

මගේ සිතුවිලි

සීත මදනල සමඟ යහළුව
මහී දිනිතිය ගැන බලයි
කිමිද ඇලදොල ගං පතුලටම
මින් රළ සමඟින් කෙලි කම් කරයි

පෝය දා අර ඈත අහසේ
පායනා පුන්සඳ ලඟයි
චන්ද්‍ර මඬුලුවල සෞම්‍ය කිරණින්
නැහැවී යලි ඔබ මා ලඟයි

රුවල් ඔරුවක නැගී වරෙකක
ඈත දියඹේ සැරිසරයි
යලිත් සයුරේ නැගෙන රැල්ලක
වැදී වෙරළට ගොඩ බසියි

විහඟ කැල සමඟ එකතුව
උන්ගේ රස රහසක් අසයි
අහස පුරා අර රටා මවමින්
ලිහිණියන් සේ සැරිසරයි

මගේ සිතුවිලි මටත් නොකියා
ලොවේ සැම තැන සැරිසරයි

5/21/2010

ලයිලා

නොසිතු වේලාවක
නොපැතූ විලසකට
පැමිණියා අවේලාවක
නොදන්වා කිසිකෙනෙකුට

චණ්ඩ විය ඔබ
රුදුරු විය ඔබ

ඇසිල්ලක පමාවක්
නොඉවසු ඔබ

දයාවක් නොදක්වාම
නපුරු ගතියම පාමින්

අඳුරු කරවිය
අපේ ජීවිත
සුනුවිසුනු විය
අපේම පැතුමන්

5/14/2010

අමාවක සඳ

නිශායම අහස් ගැබ
සිසාර නෙත් යොමා
මගේ සඳවතිය ඔබ
දැන් එතැයි මඟ බලා

නෙතු පියන් නොසෙල්වා
පමාවන් නොඉවසිලිව
බලා සිටියා මම
නිදිවරා රැය පුරා

අමාවක අදුරු ගැබ
එකළු නොවන බව දනිත්
රවටමින් මගේ සිත
මග බලයි තවම මම

4/22/2010

වැස්ස වහිනවා

වැස්ස වහිනවා ‍හෝ හෝ
සතුට දෝර ගලනවා
වැහි බිංදු බිංදු ආකාසෙන්
බිමට පනිනවා

වැහි ලිහිණි පැටව් රංචු ගැසී
අ‍හසේ සරනවා
වැසි වසින්න ඇරයුම් ගෙන
උන් රැගුම් රඟනවා

වැස්ස වහිනවා ‍හෝ හෝ
සතුට දෝර ගලනවා
වැහි බිංදු බිංදු ආකාසෙන්
බිමට පනිනවා

පුංචි පුංචි බිංදු එකතුවෙලා
මහ වැස්ස වහිනවා
ඇල දොල ගං දොර ගලා
සතුට බෙදනවා

වැස්ස වහිනවා හෝ‍ හෝ
සතුට දෝර ගලනවා
වැහි බිංදු බිංදු ආකාසෙන්
බිමට පනිනවා

වැන්දඹුවකගේ වැලපිල්ල

මගේ රට රකින්නට - රුදුරු අවි අත දරා
නුඹ කෙරුව මෙහවරින් - නුඹේ දිවිය නැති වුණා

නෑ සියන් පැමිණුනා - දු දරුවෝ පිරිවරා
නුඹේ මළගම අසා - උන් සොවින් වැලපුනා

යලි නොඑන බව දනිත් - මා පියන් මඟ බලයි
නුඹ නැතිව පාළුවෙන් - සෝ සයුරෙන් සිටිත්

අහස් උසට පොදි බැදපු - බලාපොරොත්තු ගොන්න
ඉකිබිඳියි නුඹ නැතිව - අපේ ගෙපැලේ අද

අහස් ගැබ එකලු විය - තරු දරුවෝ පිරිවරා
මගේ ගැබ පාළු විය - නුඹ නැතිව දිවි පුරා

2/15/2010

මල


සුල‍ඟේ ලෙලෙනා කැකුල් මලේ
නුඹේ ඔපයට මගේ සිත ද සැලේ
පෙති විදහා නුඹ ඉන්න අගේ
දුටු විට නුඹ ගැන ලෝබ සිතේ

මී මැස්සෝ රංචු ඇවිත්
ගුමු ගුමු රහස් කතා කරාවි
රූං රූං පෙම් වදනින්
බඹරුන් නුඹ වට කැරකේවි

හිරු එළියෙන් නුඹ ඔප වේවි
සඳ සිසිලෙන් නුඹ සැනසේවි
පිණි කැට වැටිලා නැහැවේවි
ඔප වැටිලා නුඹ බැබැලේවි

අව් වැසි මාරුත කෙතරම් ආවත්
නොසැලී නොනැමී ඉන්න මලේ
බඹරුන් කොතරම් පසුපස ආවත්
නුඹ අප කාටත් හිමිය මලේ

5/18/2009

ආයුබෝවේවා



නිවහල් නිදහස් රටක්
අපට උරුම කළ
ඔබ කිතු ගොස

පැතිරේ සැම තැන

ගොඩ බිම පීරා
අව් වැසි නොතකා
ගුවන සිසාර

මුහුද දෙබෑ කර

දුක්දොම්නස් මැද
කළවිකුමන් රැස
අපි වෙනුවෙන්මය

එකම රටක්
එක කොඩියක්

තුරුණුවණ් සරණයි
දෙව් රැකවරණයි
සසර පුරාවට