සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!
Showing posts with label නිර්මාණ. Show all posts
Showing posts with label නිර්මාණ. Show all posts

4/07/2011

මෙහෙමත් දුරකථන ඇමතුම්

ඔන්න මම කෝල් එකක් ගත්තා. ඒත් මම අමතන ජංගම දුරකථන ග්‍රාහකයා ඉන්න පැත්තේ ‍දුරකථන සංඥා අඩුයි. අඩුයි කිව්වාට සමහර වේලාවට ඇත්තේම නැති තරම්. කොච්චර සංඥා අඩුවුණත් මටත් කතා කරන්න ඕනි නිසාම මමත් අතරින්නේ නැතිව දිගින් දිගටම උත්සාහ කරලා කරලා දුරකථනය සම්බන්ධ කරගත්තා. ඔන්න දුරකථනය නාද වෙනවා. දැන් අනිත් පැත්තෙන් උත්තර දෙයි දෙයි කියලා බල බලා හිටියත් එක පාරටම දුරකථනය විසන්ධි වුණා. ඒ දුරකථන සංඥා වල අවුලක්. තව ටික වේලාවකින් උත්සාහ කරලා බැලුවා. ඒ පාර නම් වැඩේ හරි. එහා පැත්තේන් උත්තර දුන්නා. “මෙහේ වැස්ස. අද සිග්නල් අඩුයි. ගොරවනවා” අකුණු ගහන වේලාවට ජංගම දුරකථන පාවිච්චි කිරීම මමත් අනුමත කරන දෙයක් නොමෙයි. වැස්ස අඩු වුණ වේලාවක මට ඇමතුමක් ගන්න යැයි පවසන කොටම දුරකථනය විසන්ධි වුණා. සමහර විට ඒක ඇහෙන්නත් නැතිව ඇති. එදා ඒ වැස්ස අඩු වුණේ නැතිව ඇති. මම නිදා ගන්න යනකම්ම ඇමතුමක් ආවෙත් නැහැ. වැස්ස නිසා දුරකථන සංඥා නැතුව වෙන්නත් ඇති. ස්වාභාවික බලවේග අපට නවත්වන්න බැහැනේ.

ඔන්න පහු වෙනිදාට එලිත් වුණා. Call is being diverted ආයෙත් ‍උත්සාහ කලා Call is being diverted, Error in connection. Try and try one day you can fly. ඔන්න දුරකථනයට සංඥා ඇවිල්ලා. සුබ උදෑසනක් කියලා සුබ පතලා කථාව පටන් ගන්න හදනකොට “අනේ රත්තරං මම ඉස්කොලේ ගාවින් යන්නේ කථා කරන ‍එක හරි නැනේ තව ටිකකින් ගන්න” ඇත්තමනේ හැදෙන ළමයින්ට ආදර්ශයක් වෙන විදිහට වැඩිහිටියෝ හැසිරෙන්න එපැයැ. මමත් තව ටික වේලාවක් යනකම් බලාගෙන ඉදලා ආයෙත් dial කලා. ඒ පාර නම් එක පාරක් රිං වෙනකොටම දුරකථනයට උත්තර දුන්නා.‍ “හෙලෝ , හෙලෝ” බස් එකක් ඇතුලේ වගේ . ‍ඇහෙන්නේ නැත්තේ ඒ නිසා වෙන්න ඇති කියලා මම හිතන කොටම “මට ඇහෙන්නේ නෑ අනේ මම මැසේජ් එකක් එවන්නම්” ඇහෙන්නේ නැති වේලාවට කථා කරලා කොහොමත් වැඩක් නෑනේ. තව ටික වේලාවක් බලලා මම අයේත් dial කලේ දැන් බස් රථයෙන් බැහැලා ඇති කියලා හිතලා. මම හෙලෝ කියන්නත් ඉස්සෙල්ල ම “මට දැන් වැඩක් මම පස්සේ ගන්නම්” කියලා phone එක විසන්ධි කලා. කාර්යාලීය වැඩ කටයුතු තියෙන වේලාවට ඒවට මුල් තැන දෙන්න ඕනිනේ. ඒක හොඳ දෙයක්. ඒ නිසාම මම හවස 4.30 වෙනකම්ම ආයෙත් ඒ දුරකථන ග්‍රාහකයාව අමතන්න උත්සාහ කලේ නැහැ.

හවස 5.00ට විතර මම ආයෙත් කථා කලා. Not responded, Network busy , Number busy මේ ඔක්කොම මොබිටෙල් එකෙන් කියලා ඉවර වුණාට පස්සේ යන්තම් දුරකථන සංඥා තියෙන වේලාවක් අල්ලා ගත්තා. ඉතින් කොහොමද කියලා මමත් කථාවට මුල පිරුවා “අනේ රත්තරන් මට රෙදි හෝදන්න ‍තියෙනවා මම පස්සෙ ගන්නම්” ආයෙත් පස්සේ. හැබැයි රෙදි ටික සෝදලා ඇවිල්ලා මට කථා කලා. කථා කරපු ගමන්ම “මම පොඩි වැඩක් පස්සේ ගන්නම්” කියලා දුරකථනය විසන්ධි කලා. ආයෙත් ටික වේලාවක් බැලුවා. “පස්සේ” එන පාටක් නෑ. මමම ආයෙත් උත්සාහ කලා. මෙන්න මට කෙටි පණිවිඩයක් එනවා “කළුවා කාමරේ මම පස්සේ ගන්නම්” කළුවර වේලාවට පෙන්නේ නැනේ. Dial කරන්න පේන්නේ නැතිව ඇති. ඒ නිසා ඒ පැත්තට එළියක් වැටෙයි කියලා මමත් බලා ගෙන හිටියා. මෙන්න මට කෝල් එකක්. මමත් ඉක්මනට උත්තර දුන්නා. එහා ‍පැත්තෙන් “ලඟ මළ ගෙයක් මම වල කපන තැනට ගියා”. හා ඉතින් හොඳයි. කියලා මමත් තව කථාවකට මුල පුරනකොටම “මට කෝල් එකක්” “Holding” විනාඩියක් දෙකක් නොමෙයි පැයක්. ඇති යාන්තම් conneted. ඉතින්, කිතුල් තමයි. මෙන්න ආයෙත් “පොඩ්ඩක් ඉන්න අම්මා මට කථා කරනවා” ආයෙත් “Holding” තවත් ටික‍ වේලාවක් ගියා. ආයෙත් conneted. “මට දැන් නිදිමතයි මම උදේට ගන්නම්” ......................................

උදේම කථා කරන්න බැරි වුණ නිසා ටිකක් දවල් වෙලා Dial කරලා බැලුවා. දුරකථනය නාද වුණා. එත් Waiting ...... ආයෙත් විනාඩි ගණනාවකින් බල‍න කොට Waiting ඉවර වෙලා. ඒ ගමන්ම උත්තර දුන්නා. “මම ඉස්කො‍ලේක පස්සේ කථා කරන්නම්” මට අමතක වෙලා තමයි dial කලේ. නැත්නම් රාජකාරී වේලාවට කරදර කරන්න හොඳ නැහැනේ. පාසල් වේලාව 1.30 ට ඉවර වුණාම කතා කරන්න හිතුනා. ආයෙත් මම 2.00ට විතර ගන්න කොටම “මම දැන් මීටින් එකක පස්සේ ගන්නම්” හැබැයි ඒ මීටින් එක ඉවර වෙලා මට කතා කලා. එතකොට බස්රථයක් එනකම් පාරේ ඉන්නකම්. “ඔන්න බස්‍එකක් එනවා‍ පොඩ්ඩක් ඉන්න මම නැගලා ගන්නම්” “මම බස්‍එකේ හිටගෙන” බස් එකේ හිටගෙන ඉන්න කොට කතා කරන්න බැහැනේ. ඒ නිසා මමම දුරකථනය විසන්ධි කලා.

මෙන්න රෑවෙලා මට දුරකථන ඇමතුමක්. මමත් කරන ‍වැඩ ‍ඔක්කෝම නවත්වලා උත්තර දෙන්න ලැහැස්ති වුණා. ඒත් තත්පරයක් දෙකක් යන්න ඇති “තත්පරයක් ලයින් එකේ ඉන්න පුළුවන්ද මට ගෙදරට කෝල් කරන්න ඕනි.” හැමදාම මම Holding ...... මෙන්න ආයෙත් connected. “අක්කා කන්න කතා කරනවා මම කාලා ගන්නම්” කාලා ඇවිල්ලා මට දුරකථන ඇමතුමක් ආවාත් සුපුරුදු පරිදි " ආයෙත් cut වුනොත් ගන්න බෑ ඔන්න දැන්මම good night " කියලා ටික වේලාවකින්ම දුරකථනය විසන්ධි වුණා.

පහුවෙනිදා දවල් වෙලා කතා කරන්න උත්සාහ කලාත් "හරි අව්වයි අනේ කථා කරන මුඩ් එකක් නැ" කියලා දුරකථනය විසන්ධි කලා. මම ඉතින් හවස් වෙනකම් ඉදලා ඉර අවරට ගියාට පස්සේ මගේ ඇමතුමට අව්වෙන් පීඩාවක් නෑ කියලා දැනුන නිසා ආයෙත් ඒ ග්‍රාහකයාව අමතන්න උත්සහා කලා. ඒත් ඒ පැත්තෙන් "මගේ phone එකේ Battery low තව ටිකකින් cut වෙයි. කියලා කියන කොටම දුරකථනය විසන්ධි වුණා. දුරකථන සංඥාවල අවුලක් ද දන්නේ නැති නිසා මම ආයෙත් උත්සාහ කරලා බැලුවා. එතකොට දුරකථනය Switch off.

අද නම් මේ දුරකථන ග්‍රාහකයා ඉන්නේ හොඳට දුරකථන සංඥා හොඳට තියෙන තැනක. නිවාඩු දවසක් ඒ නිසා මම හිතේ හැටියට කතා කරන්නම් කියලා හිතාගෙන දුරකථනය ඇමතුවා. දුරකථනය නාද වෙනවා නාද වෙනවා. එක පාරක් නෙමෙයි හතර පස් වතාවක් බැලුවා . උත්තර දෙන පාටක් නැහැ. ටික වේලාවකින් මට ඇමතුමක් ආවා. මම “සයිලන්ස් මෝඩ් දලා තියෙන්නේ දැක්කේ නැහැ.” මේවා ඉතින් කාට කියන්නද. ගෙදර ඉන්න කොට සයිලන්ස් මෝඩ් දාන්නේ එන ඇමතුම් වලින් කරදර නිසානේ. ඒත් ඊට පස්සෙ ගොඩාක් වේලා කථා කලා. මෙන්න ටික වේලාවකින් අහනවා “ඔයාට තියන්න ඕනිද”

1/04/2011

නව වසරක් උදා වුණා

පිණි බිංදු වැටෙනා මේ උදෑසන
කැකුලු මල් විකසිත වෙලා
හිරු කුමරු වඩිනා තුරු වේලාවට
සුවද විහදුවා මග බලයි

සුලං කෝඩයක් හෙමින් ඇවිදින්
තුරු හිස හෙමිහිට සිඹමින් ඇදෙයි
නීල ගැබ නෙක රටා මවමින්
විහගුන් ගී ගයමින් ඇදෙයි

වී පැදුරෙන් වී හොරෙන් අරගෙන
ගේ කුරුල්ලෝ රස රහසක් කියයි
අඹ ගහේ කොළ අතරේ හැංගී
සුදු රෙදි හොරෙක් හොරැහින් බලයි

අතු අග වියැලුණු කොල බිමට වැටීලා
නව දළු අතු අග පොපියමින් හිඳියි
නව වසරක අරුණළු විද ගෙන
හිරු ලෝකය වෙත එබී බලයි

11/04/2010

කිම්ද කාරණා

අහස් ගැබ අඳුරුයි
මිහිමඩල නිහඩයි
කොළ හැලී ගහ කොල ද
වියපත් මිය යයි
ඇල‍දොල ද නොගලයි
විහඟ ගී නොඇසෙයි
මද පවන නොහමයි
කණකොකා හඩලයි

10/14/2010

නොකියා ගිය පුතුට

තරුණ ජවය සිත දැඩි කර තබා ගෙන
සිය දිවි නොතකමින් මවු බිම පලමු‍ කොට
දෙපා නැමැද යුතුකම් ඉටු කරන්නට
ගියා පුතුන් රට රැකුමට පෙර මඟට

රුපු අවි නසා ජය කෙහෙලිය නංවාම
කිතු ගොස පැතිරුණා නුඹ ගිය හැම පාර
කළුවර රැයක සඳ අවරට ගිය පැයක
සැඟව ගියේ කොහේ ද පුතු නොකියාම

නෙතඟින් ගැලු කඳුලුත් වියැලිලා අද
දෙපයේ වාරු නැත තව මඟ බලාගෙන
ඉඳිකඩ ගෙපැල වන රොදකින් වසාගෙන
තවමත් මඟ බලයි පුතු එන වේලාවට

රූපය නැතත් නුඹෙ නාමය වැජඹෙනවා
ගුණ නැණ ලබා නුඹ පුතු අද ලොකු වෙනවා
කුසගිණි නිවා දරු පවුලත් සැනහෙනවා
ඒ පින නිසා පුතු මතු නිවනට යනවා

10/11/2010

නුඹ දන්නේ නැතුවා

ඈත අහසේ දිදුලන තරුවේ
නුඹට පාළු නැතුවා
එලිය දීදී දැල්වෙන තවත් තරු
නුඹ ලඟම සිටියා

කෙළිදෙලෙන් පසුවෙමින්
උසුළු විසුළු නුඹ
උන් සමඟ පෑවා
තරු පායාලා අඳුර නැසීලා
ලෝකය අවදි වුණා

නුඹට නොදැනුනත් නුඹේ ලඟම
තනි තරුවක් එහි තිබුණා
අඳුරේ සිටි එය කඳුලැලි සැලු බව
නුඹ දන්නේ නැතුවා

9/28/2010

අවනඩුව

වෙහසකර දින ගෙවා
සිතිජ ඉම පසුකරන්
හිරු අවරට යන තෙක්
නොපියවා නොඉවසිලිව
විඩාබර වු නෙත් සඟල‍,
ඈත අහස් ගැබර මත
රෑ අඳුරු දුරු කරන්
සඳ මුදුන් වන තෙක්ම
බලා සිටිනා විට,
සඳ අවුත් නුබ ගැබරේ
අඳුරු වලාවන් ‍රොදකට
මුවා වී සැගව ගොස්

7/05/2010

චන්ද්‍ර මඩුලු කොහේ සැඟ වුණා දෝ


සඳ හැංගිලා වලා රොදින් - චන්ද්‍ර මඩුළු නෑ පෙනෙන්නේ
තරු දරුවෝ වැලපෙයි - සඳ නෑ තාමත් එය දන්නේ

ගං ඉවුරේ සුදු වැලි තලා - ගණ අඳුරේ සැඟවෙයි
දිය කෙළිය කිඳුරියෝ - සෝ දුකින් ලතැවෙයි

සඳ එළිය නොමැති මේ - රාත්‍රීන් අඳුරුයි
සේපාලිකා නොපිපෙයි - ලෝකයම නිසලයි

සඳ කොහේද නොදනියි - ඇගේ එළිය නොපෙනෙයි
වලා රොදින් විමසයි - උනුත් දැන් නිහඩයි

මේඝයනි මෙය අසාපන් - විහඟුනේ ගොස් කියාපන්
කවටකම් දැන් ඇතියි - සඳට ගොස් කියාපන්



6/04/2010

කවුරුත් මේ ගැන සිතුවද

කීචිබීචි කුරුලු නදින්
ලොවක් අවදි කරත් උදේ
කොහේ සිටද ආවේ කියා
කවුරුත් උන් ගැන හිතුවද

ඈත අහසේ රැය පුරාම
නිසොල්මනේ තනියම සඳ
ලොවම එකළු කලත් යසට
ඇගේ තනියට හිරු ආවද

වැසි වැටිලා ‍වැව් පිරිලා
‍දෝර ගලා වතුර ගියත්
ඒ වැස්සේ වතගොත ගැන
කවුරුත් ඇසුවද වැස්සෙන්

ගං ඇල දොල එකතු වෙලා
කෙත්වතු සරුසරා කලත්
අස්වනු වල එක ඇටයක්
යලි ලැබුණි ද සතුටු සිතින්

සුලං පොදක් සිසිල අරන්
ලොව සැම තැන හමා ගියත්
ඒ සිසිලත් ගෙනා අයුරු
කවුරුත් ඇසුවද සුලගින්

6/02/2010

හීරළුවාගේ මරණය

‍වැටක සැඟව
නිසලව සිට
ලඟට ම ආ විට
ඇසිල්ලකින් පැණ
ගෙලටම
නිසල කරවිය
තවත් ජීවිතයක්

මැස්සා

නිදැල්ලේ පියඹපු
විසේකාර මැස්සා
නොදැනුවත්වම
පැටලුණා දැලක
දැඟලුවා විටක
නැගුවා කෙඳිරිය
‍නමුත්,
පිලිසරණක් නැති විය
නිසල විය සිරුර

5/24/2010

මගේ සිතුවිලි

සීත මදනල සමඟ යහළුව
මහී දිනිතිය ගැන බලයි
කිමිද ඇලදොල ගං පතුලටම
මින් රළ සමඟින් කෙලි කම් කරයි

පෝය දා අර ඈත අහසේ
පායනා පුන්සඳ ලඟයි
චන්ද්‍ර මඬුලුවල සෞම්‍ය කිරණින්
නැහැවී යලි ඔබ මා ලඟයි

රුවල් ඔරුවක නැගී වරෙකක
ඈත දියඹේ සැරිසරයි
යලිත් සයුරේ නැගෙන රැල්ලක
වැදී වෙරළට ගොඩ බසියි

විහඟ කැල සමඟ එකතුව
උන්ගේ රස රහසක් අසයි
අහස පුරා අර රටා මවමින්
ලිහිණියන් සේ සැරිසරයි

මගේ සිතුවිලි මටත් නොකියා
ලොවේ සැම තැන සැරිසරයි

5/21/2010

ලයිලා

නොසිතු වේලාවක
නොපැතූ විලසකට
පැමිණියා අවේලාවක
නොදන්වා කිසිකෙනෙකුට

චණ්ඩ විය ඔබ
රුදුරු විය ඔබ

ඇසිල්ලක පමාවක්
නොඉවසු ඔබ

දයාවක් නොදක්වාම
නපුරු ගතියම පාමින්

අඳුරු කරවිය
අපේ ජීවිත
සුනුවිසුනු විය
අපේම පැතුමන්

5/14/2010

අමාවක සඳ

නිශායම අහස් ගැබ
සිසාර නෙත් යොමා
මගේ සඳවතිය ඔබ
දැන් එතැයි මඟ බලා

නෙතු පියන් නොසෙල්වා
පමාවන් නොඉවසිලිව
බලා සිටියා මම
නිදිවරා රැය පුරා

අමාවක අදුරු ගැබ
එකළු නොවන බව දනිත්
රවටමින් මගේ සිත
මග බලයි තවම මම

4/22/2010

වැස්ස වහිනවා

වැස්ස වහිනවා ‍හෝ හෝ
සතුට දෝර ගලනවා
වැහි බිංදු බිංදු ආකාසෙන්
බිමට පනිනවා

වැහි ලිහිණි පැටව් රංචු ගැසී
අ‍හසේ සරනවා
වැසි වසින්න ඇරයුම් ගෙන
උන් රැගුම් රඟනවා

වැස්ස වහිනවා ‍හෝ හෝ
සතුට දෝර ගලනවා
වැහි බිංදු බිංදු ආකාසෙන්
බිමට පනිනවා

පුංචි පුංචි බිංදු එකතුවෙලා
මහ වැස්ස වහිනවා
ඇල දොල ගං දොර ගලා
සතුට බෙදනවා

වැස්ස වහිනවා හෝ‍ හෝ
සතුට දෝර ගලනවා
වැහි බිංදු බිංදු ආකාසෙන්
බිමට පනිනවා

වැන්දඹුවකගේ වැලපිල්ල

මගේ රට රකින්නට - රුදුරු අවි අත දරා
නුඹ කෙරුව මෙහවරින් - නුඹේ දිවිය නැති වුණා

නෑ සියන් පැමිණුනා - දු දරුවෝ පිරිවරා
නුඹේ මළගම අසා - උන් සොවින් වැලපුනා

යලි නොඑන බව දනිත් - මා පියන් මඟ බලයි
නුඹ නැතිව පාළුවෙන් - සෝ සයුරෙන් සිටිත්

අහස් උසට පොදි බැදපු - බලාපොරොත්තු ගොන්න
ඉකිබිඳියි නුඹ නැතිව - අපේ ගෙපැලේ අද

අහස් ගැබ එකලු විය - තරු දරුවෝ පිරිවරා
මගේ ගැබ පාළු විය - නුඹ නැතිව දිවි පුරා

2/15/2010

මල


සුල‍ඟේ ලෙලෙනා කැකුල් මලේ
නුඹේ ඔපයට මගේ සිත ද සැලේ
පෙති විදහා නුඹ ඉන්න අගේ
දුටු විට නුඹ ගැන ලෝබ සිතේ

මී මැස්සෝ රංචු ඇවිත්
ගුමු ගුමු රහස් කතා කරාවි
රූං රූං පෙම් වදනින්
බඹරුන් නුඹ වට කැරකේවි

හිරු එළියෙන් නුඹ ඔප වේවි
සඳ සිසිලෙන් නුඹ සැනසේවි
පිණි කැට වැටිලා නැහැවේවි
ඔප වැටිලා නුඹ බැබැලේවි

අව් වැසි මාරුත කෙතරම් ආවත්
නොසැලී නොනැමී ඉන්න මලේ
බඹරුන් කොතරම් පසුපස ආවත්
නුඹ අප කාටත් හිමිය මලේ

1/09/2009

වනයේ අසිරිය

උදා දිනිඳු ලොව එබිකම් කරන විට‍
මිහිඳුම් සළු පට හෙමිහිට ඇඳෙන විට
සඳ කුමරිය අවර සිතිජයේ පෙනන විට
වනාන්තරේ අසිරිය දුටිමි මම

කිචී බිචී විහඟුන් ගී නද පැතිරෙන
පොල්තුරු අතරෙහි කපුටු කැල නදදෙන
ලෙන් දොරකඩ කේසරයන් රඟදෙන

වනාන්තරේ අසිරිය දුටිමි මම

ගල් කුල මත මුව යුවලකි පෙම් කෙලින
උන් හා රැදුන මුව පැටවුන් රඟන
කොමලිය වලවේ ජීවන නාලිය පිරුණ
වනාන්තරේ අසිරිය දුටිමි මම

මීදුම් වලා මැද රිවි කිරණින් පිරුණ

දේදුන කුමරිය ආකාසේ රඟන විට

උදා දිනිඳු ලොව එබිකම් කරන විට
වනාන්තරේ අසිරිය දුටිමි මම

12/05/2008

සබඳ මා පිය මිතුර


සිතෙනවා ඇසිල්ලකින් ඔබ හා පියඹා යන්න
ඈත නිල් ආකාසේ කරනමක් ගහලා එන්න
සේද මීදුම් අත‍රේ හැංගී යලි එන්න
අනන්තයට ඉගීලී ගොස් නැවතත් ගෙදරටම එන්න

හිරු අවදි වෙලා දෝ සිතිජයට ගොස් බලන්න

සඳ හා තරු කරන මුකුළු ලඟට වෙලාම අහන්න
වසන්තය ලඟට ගොස් සුහද ඇරයුමක් කරන්න
වස්සානයට ඉක්මනටම ඇවිත්යන්න කියන්න

සිතෙනවා ඇසිල්ලකින් ඔබ හා පියඹා යන්න
සබඳ මා ප්‍රිය මිතුර මා රැගෙන ඉගිලෙන්න

11/14/2008

සොබා අසිරිය

තුරු හිස මඳ නල සිඹමින්නේ - තාලෙට රඟ දෙන්නේ
මල් ගොමු පිනි කැට උරමින්නේ - සුවදින් මත්වන්නේ
කීචීබීචී ගී කුරුලු නදින්නේ - ලොවක් අවදිවන්නේ
නැගෙනහිරින් හිරු එබෙන නිසානේ - දවස උදා වන්නේ

මොනරුන් සිය පිල් විහිදන්නේ - නැටුමක් නටමින්නේ
සැලලිහිණි ගිරා නද රැවු දෙන්නේ - ගී පද මුමුණමිනේ
හාවුන් කන්දෙක උස්සන්නේ - ලොව තතු අසමින්නේ
ලේනුන් අතු අග පැන යන්නේ - පුවතක් බෙදමින්නේ

අතු අග මල් පෙති පූදින්නේ - රහසක් පවසමින්නේ
ඇල ගං දොල දිය ගලායන්නේ - කෙත් වතු කිරි වදිමින්නේ
නිල් ගොයමින් කිරි බේරෙන්නේ - ගොවි හිත සනසවමිනේ
අප මේ ලෙස ජිවය ගන්නේ - මිහිමවගේ දයා වෙන්නේ

11/13/2008

පහන් තරුව


ඈත නිලඹර දිලෙන තරුව නුඹ
මෑත සිට නුඹට ලොබ බැඳි මම
මගේ නෙතු මානයේ නුඹ රැදුනත්
අත‍ නොගෑටෙන බව දනිමි මම

නිශා අහස් ගැබ සිසාරමි
නුඹ කොතැනකදැයි සොයා යමි
නුඹ දැකුමෙන් මගේ සිත පොපියයි
එපමණක් ඇත මම සැනසෙයි

අඳුරු නිලඹර එකලු කරවන
පුරා හඳ ලෙස එළිය දෙයි නුඹ
අපේ නොවුණත් නුඹේ එළියෙන්
එකලු වේ අද ‍අපේ ලෝකය