සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

3/11/2011

චුයින්ගම්

මොකද එකපාරටම මට චුයින්ගම් මතක් වුනේ කියලා ඔයාලා හිතනවා ඇති. මම නම් ජීවිතයටම චුයින්ගම් කාලා නෑ. එක්තරා කාලයක විලාසිතාවක් ලෙස තරුණ පරපුර චුයින්ගම් කෑම කරගෙන ගියා. එයාලා පාරතොටේ ඇවිදින්නෙත් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කරන්නේත් චුයින්ගම් කන ගමින්. රාජකාරී ස්ථානවලත් චුයින්ගම් හප හපා සිටීම ඒ කාලයේ සුලබ දසුනක් වුණා. ඒ වුණාට ඒක කොච්චර කැත පුරුද්දක්ද? රාජකාරී ස්ථානයකදී රාජකාරී කටයුතු වල නියැලීමින් කාත් එක්ක හරි කතා කරන ගමන් චුයින්ගම් හැපීම නරකම පුරුද්දක් ලෙස තමයි මම නම් දකින්නේ. ඉතා මෑතකදී රාජ්‍ය ආයතනයකදී මම මේ අත්දැකීමට මුහුණ දුන්න නිසා නිසා තමයි මට මේ චුයින්ගම් කෑම ආයෙත් මතක් වුනේ. චුයින්ගම් කෑවට කමක් නැහැ. ඒත් තැනට සුදුසු ලෙස හැසිරීම වැදගත් බව සිහියේ තබා ගන්න එක ඉතා වැදගත් නේ

1/04/2011

නව වසරක් උදා වුණා

පිණි බිංදු වැටෙනා මේ උදෑසන
කැකුලු මල් විකසිත වෙලා
හිරු කුමරු වඩිනා තුරු වේලාවට
සුවද විහදුවා මග බලයි

සුලං කෝඩයක් හෙමින් ඇවිදින්
තුරු හිස හෙමිහිට සිඹමින් ඇදෙයි
නීල ගැබ නෙක රටා මවමින්
විහගුන් ගී ගයමින් ඇදෙයි

වී පැදුරෙන් වී හොරෙන් අරගෙන
ගේ කුරුල්ලෝ රස රහසක් කියයි
අඹ ගහේ කොළ අතරේ හැංගී
සුදු රෙදි හොරෙක් හොරැහින් බලයි

අතු අග වියැලුණු කොල බිමට වැටීලා
නව දළු අතු අග පොපියමින් හිඳියි
නව වසරක අරුණළු විද ගෙන
හිරු ලෝකය වෙත එබී බලයි

11/04/2010

කිම්ද කාරණා

අහස් ගැබ අඳුරුයි
මිහිමඩල නිහඩයි
කොළ හැලී ගහ කොල ද
වියපත් මිය යයි
ඇල‍දොල ද නොගලයි
විහඟ ගී නොඇසෙයි
මද පවන නොහමයි
කණකොකා හඩලයි

10/14/2010

නොකියා ගිය පුතුට

තරුණ ජවය සිත දැඩි කර තබා ගෙන
සිය දිවි නොතකමින් මවු බිම පලමු‍ කොට
දෙපා නැමැද යුතුකම් ඉටු කරන්නට
ගියා පුතුන් රට රැකුමට පෙර මඟට

රුපු අවි නසා ජය කෙහෙලිය නංවාම
කිතු ගොස පැතිරුණා නුඹ ගිය හැම පාර
කළුවර රැයක සඳ අවරට ගිය පැයක
සැඟව ගියේ කොහේ ද පුතු නොකියාම

නෙතඟින් ගැලු කඳුලුත් වියැලිලා අද
දෙපයේ වාරු නැත තව මඟ බලාගෙන
ඉඳිකඩ ගෙපැල වන රොදකින් වසාගෙන
තවමත් මඟ බලයි පුතු එන වේලාවට

රූපය නැතත් නුඹෙ නාමය වැජඹෙනවා
ගුණ නැණ ලබා නුඹ පුතු අද ලොකු වෙනවා
කුසගිණි නිවා දරු පවුලත් සැනහෙනවා
ඒ පින නිසා පුතු මතු නිවනට යනවා

10/11/2010

නුඹ දන්නේ නැතුවා

ඈත අහසේ දිදුලන තරුවේ
නුඹට පාළු නැතුවා
එලිය දීදී දැල්වෙන තවත් තරු
නුඹ ලඟම සිටියා

කෙළිදෙලෙන් පසුවෙමින්
උසුළු විසුළු නුඹ
උන් සමඟ පෑවා
තරු පායාලා අඳුර නැසීලා
ලෝකය අවදි වුණා

නුඹට නොදැනුනත් නුඹේ ලඟම
තනි තරුවක් එහි තිබුණා
අඳුරේ සිටි එය කඳුලැලි සැලු බව
නුඹ දන්නේ නැතුවා

9/28/2010

අවනඩුව

වෙහසකර දින ගෙවා
සිතිජ ඉම පසුකරන්
හිරු අවරට යන තෙක්
නොපියවා නොඉවසිලිව
විඩාබර වු නෙත් සඟල‍,
ඈත අහස් ගැබර මත
රෑ අඳුරු දුරු කරන්
සඳ මුදුන් වන තෙක්ම
බලා සිටිනා විට,
සඳ අවුත් නුබ ගැබරේ
අඳුරු වලාවන් ‍රොදකට
මුවා වී සැගව ගොස්

7/05/2010

චන්ද්‍ර මඩුලු කොහේ සැඟ වුණා දෝ


සඳ හැංගිලා වලා රොදින් - චන්ද්‍ර මඩුළු නෑ පෙනෙන්නේ
තරු දරුවෝ වැලපෙයි - සඳ නෑ තාමත් එය දන්නේ

ගං ඉවුරේ සුදු වැලි තලා - ගණ අඳුරේ සැඟවෙයි
දිය කෙළිය කිඳුරියෝ - සෝ දුකින් ලතැවෙයි

සඳ එළිය නොමැති මේ - රාත්‍රීන් අඳුරුයි
සේපාලිකා නොපිපෙයි - ලෝකයම නිසලයි

සඳ කොහේද නොදනියි - ඇගේ එළිය නොපෙනෙයි
වලා රොදින් විමසයි - උනුත් දැන් නිහඩයි

මේඝයනි මෙය අසාපන් - විහඟුනේ ගොස් කියාපන්
කවටකම් දැන් ඇතියි - සඳට ගොස් කියාපන්